(සිත ප්‍රසාදයට පත්වීම හේතු කරගෙන සත්වයෝ සුගතියට යති)
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ මෙය දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.
“ඉධාහං, භික්ඛවේ, ඒකච්චං පුග්ගලං පසන්නචිත්තං ඒවං චේතසා චේතෝපරිච්ච පජානාමි: ‘ඉමම්හි චායං සමයේ පුග්ගලෝ කාලං කරෙය්‍ය, යථා’භතං නික්ඛිත්තෝ, ඒවං සග්ගේ’. තං කිස්ස හේතු? චිත්තඤ්හි’ස්ස, භික්ඛවේ, පසන්නං. චේතෝපසාදහේතු ඛෝ පන, භික්ඛවේ, ඒවමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්තී”ති.
මහණෙනි, මේ ලෝකයෙහි ප්‍රසාදයට පත් සිත් ඇති පුද්ගලයෙකුගේ සිත මම මගේ සිතින් දැනගනිමි. "මෙම පුද්ගලයා ප්‍රසාදයට පත් සිත් ඇති අවස්ථාවේදී මරණයට පත් වන්නේ නම්, ඔසවාගෙන රැගෙන යන ලද දෙයක් බිමින් තබන්නා සේ ස්වර්ගයෙහි උපත ලබයි." එයට හේතුව කුමක්ද? මහණෙනි, එයට හේතුව ඔහුගේ සිත තුළ පවතින ප්‍රසාදයට පත් සිත් ඇති බවයි. සිත පහදවා ගත් සමහර සත්වයෝ කය බිඳී මරණින් මතු සුගති ලෝකයෙහි උපත ලබති.
චේතෝ ප්‍රසාදය
සිත පහදවා ගැනීම ඉතා වටිනා කුසලයකි. සිත පහදවා ගැනීම යනු කුමක්ද? බුද්ධ රත්නය කෙරෙහි සිත පහදවා ගත හැකිය, ධම්ම රත්නය කෙරෙහි සිත පහදවා ගත හැකිය, සංඝ රත්නය කෙරෙහි සිත පහදවා ගත හැකිය. කර්මය හා කර්ම ඵලය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගත හැකිය. තෙරුවන් කෙරෙහි පවතින ශ්‍රද්ධාවත්, කර්මය හා කර්ම ඵලය කෙරෙහි පවතින ශ්‍රද්ධාවත් 'පසන්න චිත්තං' හෙවත් සිත පහදවා ගැනීම යනුවෙන් හඳුන්වනු ලබයි.
දිනක් බුදුරජාණන් වහන්සේ උදෑසන කාලයෙහි මහා කරුණා සමාපත්තියට සමවැදී ලොව දෙස බැලූහ. එවිට එක්තරා වයසට ගිය මව්තුමියක් දක්නට ලැබුණි. ඒ මව්තුමියගේ ආයුෂය ද අවසන් වී යන බව දුටු තථාගතයන් වහන්සේ, මහා සංඝයා පිරිවරා එම මව්තුමිය සිටින ස්ථානයට වැඩම කළහ. ඒ මොහොතේ ඒ මව්තුමිය සිටියේ ඉතා පටු මාවතකය. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට එහි නතර වූහ. තථාගතයන් වහන්සේ නතරවීමට හේතුව කුමක්දැයි නුවණින් සිතූ මුගලන් මහ රහතන් වහන්සේ කරුණ අවබෝධ කරගත්තේය. මුගලන් මහ රහතන් වහන්සේ ඒ මවගේ සමීපයට ගොස්, "මෑණියනි, මෑණියනි, මේ බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ ඔබතුමිය වෙනුවෙන් මෙහි වැඩම කළ සේක. සිත පහදවා ගන්න, පහදවා ගන්න, ආදරයෙන් ගෞරවයෙන් වන්දනා කරන්න" යනුවෙන් ප්‍රකාශ කළහ. ඒ මව්තුමිය ද බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගෙන ආදරයෙන්, ගෞරවයෙන් වන්දනා කළාය. තථාගතයන් වහන්සේ භික්ෂු පිරිස පිරිවරා ආපසු වැඩම කළ සේක. තථාගතයන් වහන්සේ වැඩම කොට සුළු මොහොතක් ගත වූ පසු ඒ මව්තුමිය එළදෙනකුගේ පහරින් මරණයට පත්වී දෙව්ලොව උපන්නාය. බුද්ධ රත්නය කෙරෙහි සිත පහදවා ගැනීම මෙසේ මහත් ආනිසංස ගෙන දෙන්නේය.
ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති –
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දේශනා කළ සේක. එම අර්ථය ගාථාවලින් මෙසේ ද කියනු ලැබේ:
‘‘පසන්නචිත්තං ඤත්වාන, ඒකච්චං ඉධ පුග්ගලං;
එතමත්ථඤ්ච බ්‍යාකාසි, බුද්ධෝ භික්ඛූන සන්තිකේ.’’
මේ ලෝකයෙහි ඇතැම් ප්‍රසන්න වූ සිත් ඇති පුද්ගලයකු දැන, බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ සමීපයෙහි මේ කාරණාව දේශනා කළ සේක.
‘‘ඉමම්හි චායං සමයේ, කාලං කයිරාථ පුග්ගලෝ;
සුගතිං උපපජ්ජෙය්‍ය, චිත්තං හිස්ස පසාදිතං.’’
ප්‍රසන්න වූ සිතක් ඇති කාලයෙහි මේ පුද්ගලයා මරණයට පත් වන්නේ නම් සුගතියෙහි උපත ලබන්නේය. ඔහුගේ සිත ප්‍රසන්නය, එබැවිනි.
‘‘යථා හරිත‍්වා නික‍්ඛිපෙය්‍ය, එවමෙව තථාවිධො;
චෙතොපසාදහෙතු හි, සත‍්තා ගච‍්ඡන‍්ති සුග‍්ගති’’න්ති.
යම්සේ යමක් ගෙන විත් බිම තබන්නේ ද, ප්‍රසන්න වූ සිත් ඇති පුද්ගලයා ඒ ආකාරයෙන්ම සුගතියෙහි උපත ලබයි. සිත පහදවා ගැනීම හේතු කරගෙන සත්වයෝ සුගතියට යති.
මෙම අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.